වව්....... බව්...... බව්ෆ්......බෘව්.....වව්......
අන්තිම වතාවෙ බලනකොට වෙලාව තිබුනෙ තුනයි දහයයි කියලා. අවුරුදු හතරක් වයස පොඩ්ඩිට අම්මා නැති තනිය මකන්න උරුම උන මම තාමත් හිටියෙ ඇස් දෙක ඇරගෙන උඩ බලාගෙන. යෂ්ගෙ කුරුමිටි බලුකුක්කා තාමත් පණ කඩාගෙන බුරනවා අම්මගෙ හත් දවසෙ දානේ ඉවර උන තැන ඉඳන් එක දිගටම.
දවස් හතකුත් ගිහින් ඉවර උනාද ඒ ඉක්මනට ?
සල්ලි තියෙනවා ඇති වෙන්න , කන්න තියෙනවා ඇති වෙන්න , ලස්සන තියෙනවා ඇති වෙන්න අඩුවක් කියලා කිසිම දෙයක් නැති කොට ළමයි හතර දෙනෙක්ට උපත දීපු මගේ අම්මා බෙල්ලෙ වැල දාගෙන සිය දිවි නසාගත්තා කියලා මට නම් තාමත් බෑ විශ්වාස කරන්න.
ලේ කිරි කරලා පොවලා අවුරුදු විස්සක් තිස්සෙ අපිව උස් මහත් කරපු මගේ අම්මා අවසාන හුස්ම හෙලපු මේ තට්ටු තුනේ මන්දිරේ ඇතුලෙ වෙනදට අම්මා නිදියන තැනම නිදාගෙන උන්නු මට ඇස් දෙක පියාගෙන නිදාගන්න තරම් හිත හදාගන්න බෑ තාම.
ඇයි එහෙම කරේ ? ඇයි අපිව තනිකරලා දාලා ගියේ ? ජීවිතේ නැති කරගන්න තරම් මගේ අම්මට තිබුන හේතුව මොකද්ද ?
අඬලා අඬලම තඩිස්සි ගැහිලා තිබුන මගේ ඇස් වලින් ආපහු පාරක් උණු කඳුලක් ගලාගෙන ගිහිල්ලා කොට්ටෙ තවත් ටිකක් තෙත් කරන්න පටන් ගත්තා. මේ මූසල කාමරේ කාලකන්නි නිහඬ බව බිඳගෙන මගෙන් හයියෙන්ම ඉකියක් පිටවෙනකොට පොඩ්ඩි එයාගෙ කකුලක් මගේ බඩ උඩින් දැම්මා.
තවත් ඉකියක් හයියෙන්ම මගෙන්.
වෙනදට අම්මගෙ ඇඟ උඩින් කකුල දාන පුරුද්දට පොඩ්ඩි අද මගේ ඇඟ උඩින් කකුල දාලා තව ටිකක් ගුලිඋනා.
අනේ පලයං පොඩ්ඩියේ යන්න....... මට බෑ උඹට අම්මා කම් කරන්න. උඹටත් අම්මා නෑ මටත් නෑ. නැත්තම් නැති විදිහට තනියම නිදා ගනින්.
පොඩ්ඩියගෙ කකුල උස්සා පැත්තකට විසි කරපු මම අනිත් පැත්ත හැරිලා කොට්ටෙ මූණ උඩින් තියාගත්තා.
නෑයොද , වේයොද , යාළුවොද , මාළුවොද , එකී මෙකී නොකී සෑම ජාතියකම මිනිස්සුන්ගෙන් පහුගිය දවස් හතේම පිරිලා තිබුන ගෙදර අද මහ පුදුම විදිහට නිහඬතාවයක ගිලිලා තිබුනා.
YOU ARE READING
Night Has Come
HorrorIt was a devil and we made it evil. ❌Don't read if you are afraid.