විහා_ධීෂ
ඇසිල්ලක් ගතවත්ම නුවිධීෂයන් අසිපතත් අමෝරාගෙන හුන් සිය සොයුරා ඉදිරියේ විය... ඔහුගේ අසිපත් තුඩ දිගේ ගලා ආ රුහිරු බිඳු කීපයක් නුවිධීෂ බලා හිඳින විටදීම පොළොව සිපගන්නට විය... තම සොයුරා හට විහාධ්‍ය සමඟින් තරම් වෛරයක් අන් කිසිවකු සමග නැති වග නුවිධීෂයන් හොඳින් දනී... නමුදු එයට සුවිහීෂ හට දොස් නැගිය නොහැකියි...
ඇරත් සුවිහීෂ වන් අයෙකුට එතරම් රෞද්‍ර විය හැකිද යන්නම අරුමයකි... නමුදු දැන් එයින් පලක් නොවේ... මන්ද යත් සිදුවූයේ කුමක් වුවද එය දැන් සිදුවී හමාර බැවිනි...
අසිපතෙන් වැගිරන්නා වූත් හා සුවිහීෂගේ වස්ත්‍ර පෙඟි තිබෙන්නා වූත් රුධිරය, ක්ෂණයකින් එක් දරුණු ගණයේ ව්‍යාඝ්‍රයෙක් මුළුමුනින්ම අඩපණ කොට තිබුණි... සිය සොයුරා විහාධ්‍ය මරා දමන බවට නිරන්තරයෙන් පැවසූ අයුරු ඔහුගේ දෙසවන් පුරාවට දෝංකාර දෙන්නට විය... එසේ පවසන කල්හි ඔහු තුළ වූ ස්ථිරසාර ස්වරූපය ඔහු ඉදිරියේ මැවෙන්නට විය... ඉදින් එසේ වී නම්...?
සිය දෑත් හා දෙපා හුන් අයුරින්ම ගල්ගැසෙනු දැනුනු නුවිධීෂ තමා තුළ ඉතිරි වූ සියලු ධෛර්ය කැටිකර මුව අපහසුවෙන් විවර කළේය...
"අයියණ්ඩී...!!!"
"නුඹ...!! කවරෙක්ද නුඹ හට අවසර දුන්නේ මෙහි පැමිණීමට...??? පවසනු...!"
"නුඹ කුමක්ද සිදුකළේ...? කොහිද විහාධ්‍ය...?"
සුවිහීෂ කුමරුන් හට නම් සිය මලණුවන් විමසන්නාවූ කිසිවක් අදාළ නොවන හැඩයි... ඔහු මාරාවේශයෙන් මෙනි... ශාක්‍රස කුමරුන්ගේ ප්‍රතිමූර්තියක් බඳු ඔහුගේ සන්සුන් මුහුණ කැළඹී ගොසිනි... දෑත් මිටි වී වෙව්ලයි... ගෙලෙහි හා දෑත් වල නහර ඉලිප්පී ගොසිනි... සියල්ලටම වඩා ඔහුගේ මෘදු ආමන්ත්‍රණයද ගිගුරුමක් බවට පත් වී තිබේ...
"විහාධ්‍ය!! ලජ්ජාවක් කියා නාමයක් නොමැතිද නුඹට...??"
"ඒ ම්ලේච්ඡයාගේ කුටියට වී හිඳින්නට...??"
"කොහිද නුඹේ වස්ත්‍ර...? අසිපත...?? පැමිණෙනු විගසින්...!!"
ඔහුගේ වදනක් පාසාම පිටවූයේ විහාධ්‍ය කුමරුන් කෙරෙහි වූ කෝපයයි... එය හුදෙක්ම කෝපයක් පමණක් නොවේ... සිය මලණුවන්ගේ දිවිය විනාශ කිරීම නිසාවෙන් වූ වෛරයකි... ඉදින් ඔහුගේ පසින් ඔහු සාධාරණ නොවේද...?? ඇරත් සිය මලණුවන් නැවතත් ඔහුව රැවටූ පුද්ගලයා සමග සිටිනු දුටු විට නොකිපෙන්නේ කවරෙක්ද...?? ඇරත් රැයක් පුරා කුටියට වී කුමක් කළේදැයි දනුයේ කවරෙක්ද...???
ඉදින් නුවිධීෂ වැන්නෙක් දුර්වලව සිටීම යනු අරුමයකි... කිසිවිටක ඔහු නොවේ මෙතරම් කඩා වැටුණේ... අවම තරමින් විහාධ්‍ය ඔහුව රවටා ඇති වග දැනගත් මොහොතේ හෝ...!
තම අයියණ්ඩිය කෙතරම් කෝපගෙන සිටියද, විහාධ්‍ය කොහිදැයි සොයාගත යුතුය... ඔහු හොඳින් වීමට කුඩා හෝ සම්භාවිතාවක් තිබිය හැකියිනේ...? මොහොතක් ගත වූ විට ගල්ගැසී තිබූ දෙපා යන්තමින් සෙළවීමට හැකි වගක් ක්‍රමෙයෙන් ඔහුට දැනෙන්නට විය...
"අතහරිනු මා අයියණ්ඩී...!!!"
පිටතට දිවයාමට සැරසුණු නුවිධීෂයන් වළකාලමින් ඔහුගේ බාහුව මත වූ සුවිහීෂ කුමරුගේ ග්‍රහණය ලිහිල් නොවන තැන ඔහු පැවසුවේය... සැබැවින්ම කෑගැසීමට තරම් සවියක් නොවූ තැන කෝපය පිරි දෑසින් ඔහුගේ දෑස් දෙස කෙලින්ම බලා අපහසුවෙන් මිමිණුවේය... ඉදින් ඒ දෑසෙහි වූ හැඟීම් කියවාගනිද්දී සුවිහීෂගේ කුමරුන්ගේ ග්‍රහණය ඔහුටත් නොදැනී ලිහිල් වී හමාරය...
සිය මලණුවන් හට තමා කෙතරම් සෙනෙහස දැක්වූයේදැයි ඔහු පමණි... දහහත් වසරකට පසු නැවත හමුවුණු සිය මලණුවන් තමා කෙතරම් නම් ප්‍රවේශම් කළේදැයි දනුයේද ඔහු පමණි... නමුදු අද ඔහුගේ වියරු වැටුණු දෑස් වල තමා හට වූ අනතුරු ඇඟවීම...? එයත් එක් වංචනික පුද්ගලයෙක් නිසාවෙන්..??
නුවිධීෂ ලද අවසරයෙන් සිය හස්තය මුදාගෙන කුටියෙන් පිටතට පා තැබුවා පමණි... ඔහු පිටවූවාට වඩා වේගයෙන් කුටිය තුළට විසිවී ගොස් ඇද වැටුණි... ඔහු තම දෙපා යන්තමින් හෝ වාරු කරගත්තේ විහාධ්‍ය කුමරු සොයා යාමටයි... ඒ හැරෙන්නට ඔහුගේ ගතට කිසිදු සවියක් නැහැ වූයේ... අයෝමය හස්තයකින් එකවරම තමා අල්ලා විසි කළාක් මෙන් ඔහුට දැනුනි... කෝපයත් නොසන්සුන් බවත් මුසු වූ රළු දෑස් වලින් වැටී හුන් තැනම හිඳ ද්වාරය දෙස හිස ඔසවා බැලුවේය...
නමුදු එහි වූයේ ඔහුයි... තම සොයුරාගේ අසිපත් පහරින් මියගොස් ඇතැයි සිතූ ඔහුයි... ඉදින් එසේනම් ඔහු නිරුපද්‍රිතයි... එදෙස බලා කෙතරම් වාරයක් සැනසුම් සුසුම් හෙලුවාදැයි නුවිධීෂයන්ද නොදනී...
වම් උර බාහුවේ තවමත් රුහුරු වැගිරෙන කැපුමක්ද සහිතව, රුධිරයෙන් පෙඟුණු වස්ත්‍ර වලින් යුතුව කුටිය තුළට වැදුණු ඔහු ද්වාරය වසා දමා සුවිහීෂ කුමරුන් හට මුහුණලා සිට ගත්තේය... වරක් හෝ නුවිධීෂයන් දෙස නොබලා, එසේම සිය හස්තයේ වූ කැපුමද නොසලකා ළය මත දෑත් බැඳගෙන ගැඹුරු සුසුමක් හෙළුවේය...
"මා පැවසුවා නොවේද වරක්...??"
ඔහුගේ ස්වරය මහ වැසි ඇද හැලෙන්නට පෙර අහස් කුස සේය...
"තමුන්ගේ සීමාවේ හිඳිනු විහාධ්‍ය...!! එවිට තමුන් කුමක්ද බලාහිඳිනුයේ...? බලනු නුඹ සිටින්නේ කොහිද කියා...?? නැගී සිටිනු...!!"
විහාධ්‍ය වෙත හෙලූ රෞද්‍ර බැල්ම මදක් හෝ අඩු නොකොට සුවිහීෂ කුමරු සිය මලණු හට කෑ ගැසුවේය... නමුදු නුවිධීෂයන් හට නම් එතැනින් නැගී සිටීමට ඇවැසි නොවුණි... ඔහුගේ දෑස් තිබුණේ ඔහු ඉදිරියේ සිටගෙන සිටිනා විහාධ්‍ය කුමරු මතයි... ඔහු හිඳිනා අයුරින් නුවිධීෂ හට විහාධ්‍යගේ වම් බාහුව නොපෙනේ... ඉදින් එහි වූ තුවාලය දුර සිට හෝ පිරික්සීමට ඔහු අසාර්ථක වෑයමකය...
"සුවිහීෂ කුමරුනි...!!!"
මෙවර නම් විහාධ්‍ය කුමරුන්ගේ හඬ දැඩිය... අනතුරු හැඟවීමක සේයාවක් එහි ගැබ්වී තිබුණි...
"කිමද නුඹ...?? වරක් හෝ මා නුඹව මාගේම මලණුවන් ලෙස සිතූවා... එසේ නොවී නම් නුඹ මියෙනවා මා අතින්...!!නමුදු නුඹත් නුඹේ පියාණනුත් මෙන් නොවේ අප...!!"
"බලනු...!! අර වැටී සිටින මුග්ධයා හට නැගී සිටීමට හෝ සිහියක් නොවේ නුඹ දුටු විට...!!! ඔහු සිතූයේ මා නුඹව මරාදමා කියා...!! නුඹ දන්නෙහිද...?? අද පළමු වරට ඔහුගේ දෑස් වලින් මා කෙරෙහි වෛරයක් දුටුවා මා...!!! නුඹ නිසා...!!!"
සුවිහීෂ කුමරුගේ ආවේගයත් වේදනාවත් කැටිවූ ප්‍රකාශය හමුවේ විහාධ්‍ය කුමරුන්ගේ දෑස්, තවමත් පොළොව මතට වී හිඳින නුවිධීෂයන් වෙත එල්ල විය... ඒ දෑස් ඔහුව මගහරී... සුවිහීෂ කුමරුන්ද මගහරී... කුමක් හෝ නොදන්නා හේතුවක් නිසාවෙන් ඔහු හට විහාධ්‍ය කුමරු දෙස බැලිය නොහැක... එසේම සිය හදවතට දැනෙන්නාවූ වරදකාරී හැඟීම නිසාවෙන් තම අයියණ්ඩිය දෙස බැලීමටද නොහැක...
"අයියණ්ඩිය දොස් නගන්නේ නැහැ නුඹට...! පැමිණෙනු...!! අප පිට වෙමු...!!!"
කිසිවක් සිදුනොවූවාක් මෙන්, සිය මළණුවන් අසළට පැමිණ ඔහුගේ දෙඋර වටා හස්තයක් යවා වැළඳගත් සුවිහීෂ කුමරු පැවසුවේය... ඉදින් පෙර වූ රළු ස්වරය නම් එහි නැහැ වූයේ...! නුවිධීෂයන් විහාධ්‍යයන්ගේ විෂයයෙහි හැසිරෙන්නාක් සේම සුවිහීෂ කුමරුන්ද සිය මලණු විශයයෙහි හදවත පෙරටු කොටගෙන කටයුතු කරන්නේය...
නමුදු ඒ කෙසේ වුවත් නුවිධීෂ හට නොවේ පිටව යාමට අදහසක් වූයේ... ඔහු හොරැහින් තමා දෙස නෙත් යොමා සිටින විහාධ්‍ය දෙසත් සිය අයියණ්ඩිය දෙසත් විටින් විට බලන්නට විය... ඔහුට සුවිහීෂගේ බස ඉවත හෙලිය නොහැක... එසේම කුමක් හෝ නොවැටහෙන හේතුවක් නිසා පිටව යාමටද නොහැක...ඉදින් ඒ නිසාවෙන්ම ඔහු නොවේ එතැනින් මදක් හෝ සෙලවුණේ...
"ඔහු කොහිවත් නැහැ යනුයේ...!! නුඹට පිටවිය හැකියි...!!!"
අවසන විහාධ්‍ය කුමරුන්ගේ ආඥාව ගර්ජනාවක් සේ පිටවිය...
"නුඹ කෙසේද එලෙස පවසනුයේ...??"
සුවිහීෂ නැගී සිට විහාධ්‍ය වෙතට සමීප වූයේය...
"අමතකද මේ කොහිද කියා...? මාළිගය...!!! මෙහිදී මා ඉක්මවා යාමට නුඹට නොහැකියි...!!!"
"ඔහු කුමක් පැවසූවත් කම් නොවේ...! පැමිණෙනු...! නැගී සිටිනු ඉදින්...!!! ඔහුට ඇවැසි සේ සියල්ලම සිදුවිය යුතුද...???"
නමුදු නුවිධීෂයන්ගේ පසින් නම්, තුවාල වූ සුනඛයෙකු වුවද හැරදමා යාම අමනුෂ්‍ය ක්‍රියාවකි... ඉදින් විහාධ්‍ය කුමරුන් හැරයාමට සිත නොදෙන්නේ අනෙකක් නිසා නොව ඔහුගේ බාහුවේ වූ ගැඹුරු කැපුම නිසා වග ඔහුට හොඳින්ම විශ්වාසය... නමුදු එය සිය සොයුරා හට පැවසිය නොහැක... ඉදින් අවසන ඔහු කෙරූයේ දෑස් පොළොව මත රඳවාගෙන තමා හට පැමිණීමට නොහැකි වග හඟවමින් හිස දෙපසට සෙලවීම පමණයි...
"කුමක්ද පවසනුයේ...???"
"අයියණ්ඩී..., මා පැමිණෙන්නම්... නමුදු සවස් වූ විට...!"
තවමත් ඔහුගේ දෑස් සුවිහීෂ කුමරුන්ව මගහරින්නේය...
"සවස් වන තුරු කුමක් කරන්නද...?? අරුණාධි මෙන් පිළිස්සී යාමට ඇවැසිද නුඹටත්...???"
පොළොව මත වූ දෑස් එසවී සුවිහීෂ කුමරුන් වෙත රැඳුනේ කුමන විටකදැයි ඔහු නොදනී... ඉදින් ඔහු කිසිවක් නොපැවසූ කළ ඒ දෑස් විහාධ්‍ය මත පතිත විය... නමුදු තම දෑස් හමුවන විටම ඔහු සිතා මතාම ඉවත බලනු නුවිධීෂ දුටුවේය...
"කුමක්ද...???"
"එසේයි...!! නුඹ නොදන්නා හැඩයි...!!! මෙය ඉදින් රාජ මාළිගයනේ... කුමක්ද සිදුවිය නොහැක්කේ...?? ඇරත් මෙහි මොහුව ඉක්මවන්නට කිසිවකු හට නොහැකියි නේ...!!!"
නුවිධීෂයන් මොහොතකට ගොළු විය... එතරම් දෙයක් සිදු වන තුරු ඔහු සුවෙන් සැතපුණේ කෙසේද...?? තමා පෙරදින කවුලුවෙන් ඇතුළු වූයේ අරුණාධියගේ කුටියට වග ඔහු වටහා ගත්තේ පෙරදිනමය... ඉදින් එය ගිනිගෙන...?? ඈ සමග...??
"එවිට... එවිට ඇය...??"
"නොවේ..!!! ඈ තවමත් ජීවතුන් අතර...! ඇගේ ස්වාමිපුරුෂයා වීමට සිටින තැනැත්තා ගොස් ඔහුව බේරාගෙන...! නමුදු මුහුණෙහි එක් පසක් පිළිස්සී ගොසින්...!!"
සුවිහීෂ කුමරු විහාධ්‍ය කුමරු දෙස බලමින් සමච්චලයෙන් මෙන් පැවසුවේය...
"පැමිණෙනු ඉදින් දැන් !!!"
"අයියණ්ඩී....."
නුවිධීෂයන්ගේ ප්‍රතික්ෂේප කිරීම සුවිහීෂ කුමරුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවීමට සමත් විය... ඔහු දෑස් වසාගෙන සුසුමක් හෙලුවේය...
"සිටිනු...! නුඹට රිසි වූවාක් කරනු...!! නමුදු මෙයද සිහියේ තබා ගනු...!!! නුඹට කුමක් හෝ සිදුවුවහොත් මොහුට නම් එය වගක් නොවන බැව්...!!! නුඹේ පියාණන් හා මා පමණක් ඉන් වේදනා විඳින වග...!!!"
අවසන් වරට විහාධ්‍ය කුමරුන් වෙතට රෞද්‍ර බැල්මක් හෙලා සුවිහීෂ කුමරු කුටියෙන් පිටවිය... ඔහු ගිය පසු ද්වාරය වසා දැමූ විහාධ්‍ය කුමරු ගොස් සයනය මතින් හිඳගත්තේය... තවමත් පොළොව මත වූ නුවිධීෂයන් පිළිබඳව ඔහු හට වගක් හෝ නොවීය...
නුවිධීෂ තමා හිඳගෙන හුන් තැනින් නැගිට ගොස් අපහසුවෙන් සිය බාහුවෙහි වූ තුවාලය පිරිසිඳු කරමින් හිඳින විහාධ්‍ය අසළින් හිඳගත්තේය... කුමක් හෝ හේතුවක් නිසාවෙන් ඔහු හට සහාය වීමට නුවිධීෂයන් හට ඇවැසි විය... නමුදු තමා වෙතට එක්වරම එල්ල වූ අපුල මුසුවූ බැල්ම ඔහු එතැනින් නැගී සිටුවීමට සමත් විය...
"කිමද..? "
විහාධ්‍යගේ ස්වරයේ ගැබ් වී තිබුණේ සමච්චල් සහගත බවකි...
"ඖෂධ ගල්ව..."
"සිතුවාද මා හට ප්‍රතිකාර කිරීමට මාළිගයේ රාජකීය වෙදැදුරන් නැතැයි කියා...??? ඇරත් නුඹ වැන්නෙකුගෙන්...??"
නුවිධීෂයන් හට පැවසා අවසන් කිරීමට නොහැකි විය... ඉදින් මේවා ඉවසා සිටිය යුතුය... තමා සිටිනුයේ ඔහුගේ මාළිගයේයි... ඇරත් තමාම නොවේද මෙහි නැවතුනේ...
"මා කුමක්ද...??"
"බලනු නුඹ දෙස...! කෙතරම් දුර්වලයෙක්ද කියා...!! එක වරම විසිවී ගොස් වැටුණු අයුරු...! නැගී සිටිය නොහැකිව එහි හුන් අයුරු...!! සැබැවින්ම් නුඹ නුවිධීෂ කුමරුන්ද...??"
එවර නම් එහි සමච්චලයකින් සඟවාගත් කෝපයක් වූ වග නුවිධීෂ හට පැහැදිලි විය...
"මා නම් නැහැ දනුයේ ඉදින්...! නුඹමනේ පැවසූයේ...!!"
එවර නම් විහාධ්‍ය කුමරු නිරුත්තර විය...
"කොහිදෝ තිබූ කුමක්දෝ දුටුවා කියා කෙදින හෝ පැවසූ වග මතකයි... නොවේ..! නොවේ...!! නුඹ එය ස්පර්ශ කර පෙන්වූවා නොවේද මා හට...???"
විහාධ්‍ය කුමරුන්ගේ දෙතොල් එකට තද වී නළළ මත ඩා බිඳුද මතුවී තිබේ... නමුදු නුවිධීෂයන් හට නම් නැවතිමට ඇවැසි නොවන හැඩයි...! ඔහු නැවත ගොස් විහාධ්‍ය ඉදිරියේ බිම හිඳගත්තේය... සැබැවින්ම තමා සිදුකරන්නාවූ දේ පිළිබඳව ඔහු හට කිසිදු අවබෝධයක් නොවූවද..., ඔහුට එසේ කිරීමට ඇවැසි විය... ඔහුගේ නොසණ්ඩාල මනස එදින රාත්‍රියේ වූ සියල්ල එකින් එක ඔහු හට සිහි කරන්නට විය...
"කුමක්ද...? කුමක්ද පැවසූයේ...?? නුඹ එය දැනගත්තේ කෙසේද කියා පැවසීම කෙසේ තීරණය කරන වගද...??? සිහි නොවේනේ...!!"
නුවිධීෂ තමා හට අමතක වූ යමක් සිහි කිරීමට උත්සාහ කරන්නාක් මෙන් යටිතොල සපාගෙන හිස කසන්නට විය... විහාධ්‍ය කුමරුගේ නළලින් ඩා දිය බේරේ... වරින් වර නැගී සිටීමට තැනුවද විහාධ්‍ය කුමරු හට සයනයෙන් නැගී සිටීමට නොහැකි සේයි... කුමක් හෝ අපහසුතාවක් වන්නට ඇති...! නැතිනම් කිමද තවත් එසේ ඉවසා සිටිනුයේ...??
"ආ...හ් සිහිවූවා... නුඹ පැවසූයේ එදින රාත්‍රිය අනුව එය තීරණය කරන වග...!"
තමා මගහැර සිටීමට කෙතරම් තැත් කළද ඒ දෑස් ඔහුට අවනත නොවී තමා වෙත එල්ල වන අයුරු දැක නුවිධීෂ හට සිනහා පහළ විය... ඔහුගෙන් විමසා දැනගැනීමට වැදගත් වූ බොහෝ දේ තිබුණද, මෙවන් අගනා අවස්ථාවක් මගහරිනුයේ කෙසේද...???
"නමුදු බලනු නුඹ කෙතරම් අවස්ථාවාදීද කියා...?? එදිනෙන් පසු කෙතරම් වරක් අප එසේ... එසේ... සිදුකළාද...?? නොවේද..??
සෑම දිනම පැවසූවා එය අවසන නුඹ තීරණය කරන වග...!!! නමුදු පැවසූවාද නුඹ...???"
විහාධ්‍ය කුමරු සිය නාසයට පහළින් වූ ඩා දිය එක් හස්තයකින් පිසදැමුවේය... කෙසේ නම් ඉවසන්නද මොහු පවසනා දෑ...?
"විහාධ්‍ය..., මා යමක් විමසන්නද...?? මා නේ ඉදින් විමසනුයේ...! නොසඟවා පවසනු ඉදින්... නුඹ හා මා නේ...!!!"
මහා වැදගත් යමක් අසන්නට මෙන් ඔහු හට සමීප විය...
"සැබැවටම එය සංසිඳෙන්නේ නැතිද...??"
නුවිධීෂයන්ගේ කෙළිලොල් ස්වරය සැබැවින්ම උපහාසාත්මක පළිගැනීමක් වැනිය... ඉදින් ඔහු හට නම් එය හුදෙක්ම කවට කමක් වුවද, එය විහාධ්‍ය හට නම් එසේ නොවීය...
"කිමද විහාධ්‍ය...? නුඹ දුර්වල වීද...?? මා නුඹ විෂයයෙහි සේම නුඹද....??"
"ප්‍රලාප...!!! "
තමා තුළ වූ නොසන්සුන්බව සඟවා ගනිමින් විහාධ්‍ය කුමරු සමච්චල් සහගත අයුරින් එසේ පවසා සයනගෙන් නැගී සිටියේය... නුවිධීෂ හුන් බැව් මදක් හෝ නොසලකා ද්වාරය වෙත ගියේය... අගුල විවර කරන්නට ගොස් නැවතී ආපසු හැරුණේය...
"කිමද සිතුවාද මා මියගොස් කියා...??"
"........."
තමා හමුවේ පරාජය වී යන විහාධ්‍ය කුමරු දෙස නුවිධීෂ මහා ජයග්‍රාහී ලීලාවෙන් බලාසිටියේය...
"අමතක වූවාද නුඹේ අසිපත නුඹ සමග වූ වග...?? ඉදින් කෙසේද මා අන් අසිපතකින්...?"
ඇසිල්ලකින් තම මුවඟ වූ මදහස අතුරුදන් වන වගක් ඔහුට දැනුනි... ළය තුළ අග්නි ජාලාවක් දැල්වූවාක් සේ විය... අවසන නුවිධීෂයන්ගේ දෑස් වලට පෙණුනේ ද්වාරයෙන් පිටවී යන විහාධ්‍ය කුමරුගේ බොඳවූ රුව පමණයි...!!!
"එසේ නම් එයත් පැවසූවා නුඹ මා හට...!!"
නුවිධීෂයන් හැරී සයනය මත වූ සිය අසිපත දෙස බැලුවේය... එය කිසිවාක් නොදන්නා අයුරින් එහි වැජඹෙමින් සිටියි...
"විනාශ කර දැමිය යුතුයි මෙය...!! නුඹ මා හට පෙරදීත් ඉඩක් ලබා දුන්නේ නැහැ... දැන් වදන් වලින් මා මරා දමන්නටද සැරසෙනුයේ...? කුමක්ද නුඹ මේ පිරිමසනුයේ...??"
නුවිධීෂයන් සයනය අසළට ගොස් අසිපත සිය සුරතට ගත්තේය... නමුදු එය විනාශ කරන්නේ කෙසේද...? අවම තරමින් කුටියෙන් පිටතට වත් යා නොහැකිව...??
කුටියේ ද්වාරය නැවත විවර විය... අසිපත මත වූ ඔහුගේ දෑස් එදෙසට එල්ල වීමට ප්‍රථම තම හස්තයෙන් අසිපත ගිලිහී යන වගක් දැනුනි...
"බිය සුල්ලකුගෙන් මෙයට වඩා යමක් කෙසේ අපේක්ෂා කරන්නද...? දුර්වලයෙක්...!!!"
විහාධ්‍ය කුමරුගේ හී සර වන් වදන් සිය හදවත පසාරු කරනු දැනෙද්දී ඔහු සිය අසිපත සම් මල්ලක දමාගෙන කුටියෙන් පිටවනු නුවිධීෂ දුටුවේය...
•••••••••••••••••••••••••