ගංගාවි හොස්පිටල් ඉඳපු දවස් පහටම රන්දිමා, ශානිකා, සයුරි එයාව බලන්න ආවා. දැන් බොහොදුරට ගංගාවිගේ තුවාලේ හොඳයි. තව ටික දවසකින් මැහුම් කපන්න එන්න දිනයක් නියම කරලා ඩොක්ට හවස අම්මලා බලන්න එන වෙලාවට ටිකට් කපනවා කියලා ගංගාවිට අවවාද ටිකකුත් දීලා ටික වෙලාවක් එයා එක්ක කතා කරකර හිටියා. අප්පච්චි ඊයේ කන්නාඩි දෙක ගෙනාපු නිසා පෙනීමේ ප්‍රශ්නයක් වුණෙත් නැහැ.
හෙට රන්දිමාගේ බාස්කට්බෝල් තරඟ තියෙනවා. එයාලා මීට කලින් මේ ගැන කතා කරද්දි ගංගාවිටත් ආස හිතුනා 'පළවෙනි' පාරට රන්දිමා සෙල්ලම් කරනවා බලන්න යන්න. අද හවසට ටිකට් කපනවා කිව්වම ගංගාවිට හිතුනේ ඩොක්ට තමන්ගේ හිත කියෙව්වාවත්දෝ කියලා. හැබැයි හිතට ආපු සතුට වැඩිකමට එයාට අමතක වුණා අම්මාගෙනුයි අප්පච්චියිගෙනුයි හෙට යන්න අවසර ගන්න ලේසි නැති බව.
පුරුදු විදිහටම අදත් දවල් දෙක පහුවෙද්දි ශානිකායි සයුරියි ආවා. ඩොක්ට එච්චරවෙලා ගංගාවිගේ තනියට එතන හිටියා මිසක් කරන්න වැඩ නැතුවට නෙමෙයි. එයාලා ආපු ගමන්ම ඩොක්ට එතනින් ගියා.
"අම්මටසිරි..... බලන්නකෝ මෙයාගේ මූණේ තියෙන මල් හිනාව, ඇයි අර ඩොකා ලයින් දාගෙනවත් ආවද?"
"පිස්සුද ශානි? කට ඇරියොත් කියන්නෙම මහ මුස්පේන්තු කතාවක්මයි!"
"ඕකේ ඕකේ මම මුස්පේන්තු කතා කියනවා.... කියහන්කෝ අපිටත් හිනාවෙන්න ඔච්චර සතුටු ඇයි කියලා"
"අද හවසට ටිකට් කපනවලු,"
"සිරාවටම?" "මරුනේ!"
"එතකොට හෙට ඔයාලා එක්ක රන්දි ප්ලේ කරනවා බලන්න එන්න පුළුවන්"
ගංගාවි ඇඹරි ඇඹරි කියද්දි සයුරි ළඟට ඇවිත් ගංගාවිගේ අත කෙනිත්තුවේ තරහෙන්.
"ආව්... රිදුනා"
"ඔය විදිහට තාමත් හරිහැටි සනීපයක් නැතුව යන්නේ කොහොමද"
"ආහ් රන්දි ප්ලේ කරනවා බලන්න යන්නද ඔච්චර ආසාව? හම්මෝ මෙයාට තියෙන්නේ අපිටවත් නැති ආසාවක්නේ"
ශානිකා කට ඇද කරකර ගංගාවි දිහා බලන් සයුරිට අතින් අනිද්දි සයුරිත් පල් එකට හිනාවෙන්න ගත්තා.
"එ-එහෙම නෙමෙයි ඉතිං... මං එයා සෙල්ලම් කරනවා දැකලාම නෑනේ"
ගංගාවි අතේ ඇඟිලි එකට පටලන් ඒ දිහා බලන් කියද්දි සයුරිගෙයි ශානිකාගෙයි යටි හිත... 'හරි හරි ඔහොම යමුකෝ, හිතුවා මදි අපිව තම්බන්න'
වෙනදා රන්දිමා එන වෙලාව පහුවෙලා විනාඩි පහළොවක් ගියත් තාමත් රන්දිමා නැති එක ගංගාවිට ප්‍රශ්නයක් වුණා. මේ තුන්දෙනා ගංගාවි එක්ක එකටම ඉඳලා දැන් ගංගාවිටත් එයාලා නැතුවම බෑ වගේ.
"ශානිකා, රන්දිමා ඇයි තාම නැත්තේ? අද ඉස්කෝලේ ආවනේ?"
"එයාටනම් අද හොස්පිටල් එන එක ෂුවර් නැහැ කිව්වා, ඌව දැක්කෙත් ඉන්ටවල් එකට විතරයි. මුළු දවසෙම ඉන්ඩෝ එකේ"
"ආහ්.... එහෙමද"
"ඔය ඉතිං මූණ ඇද කරගන්න එපා දැන්, කලින් මහලොකුවට කිව්වේ හෙට යනවයි කියලා"
"අම්මලා යන්න දෙයිද දන්නෑනේ සයූ... එහෙම වුණොත් ඒ අදහසත් චකබ්ලාස්ට් තමා"
"හරි හරි බං... සයුරි නැතත් මේ මං ඉන්නවනේ, බයවෙන්න එපා මං අන්කල්ගේ කකුල් දෙක බදාගෙන අඬලා හරි ඔයාව හෙට එක්ක යන්න ප(ර්)මිශන් ගන්නවා"
"අම්මෝ කරයි කියලා තමා බය"
ගංගාවියි සයුරියි ශානිකා දාපු ඇක්ශන් ටිකට හිනාවුනේ ශානිකා ලැජ්ජාවටම මුකුත් නොකියා ගංගාවිගේ ඇඳේ කොනකින් වාඩි වෙද්දි.
හවස් වීගෙන එද්දි ශානිකායි සයුරියි ගංගාවිට එයාගේ බඩු පැක් කරන්න උදව් කළා. බෑග්වලට බඩු ටික දාලා ඉවර වීගෙන එද්දි අම්මයි අප්පච්චියි එක්ක ඩොක්ට එයාලා ගාවට ආවා.
"ඔන්න ගංගාවි දැන් ඔයාට ගෙදර යන්න පුළුවන්!"
"හී... තැන්කිව් ඩොක්ට"
"අප්පච්චි මට එදා වුණ විස්තරේ කිව්වනේ... ඒ වාහනේට අප්පච්චිව හැප්පුනානම් එහෙම එයාට හුඟාක් බරපතළ තුවාල වෙන්න ඉඩ තිබුණා. ආඩම්බරයි ඔයා ගැන ගංගාවි..."
ඩොක්ට ගංගාවිගේ ඔලුව අතගාලා කියද්දි අප්පච්චි ගංගාවිගේ අතින් අල්ලගෙන වාට්ටුවෙන් එළියට ගියේ අම්මා එයාලට පිටිපස්සෙන් ශානිකායි සයුරියි එක්ක එද්දි.
ඒ අතරේ.... රන්දිමා තාමත් ඉස්කෝලේ. බාස්කට්බෝලේ ටිකකට පැත්තකින් තියලා වතුර බොන්න ආවේ ටීශර්ට් එක තෙත්වෙන්නම දාපු දාඩිය පිහිදාගන්නත් එක්ක. හිරුණි නම් උසට ගොඩගහපු මැට්ස් ටිකක් උඩ ඉඳගෙන කකුල් දෙකත් පද්ද පද්ද ලොලිපොප් එකක් කනවා. එයා දැන් පැයක විතර ඉඳන් බලන් ඉන්නේ රන්දිමා එනකන්. තව ටිකකින් ඉස්කෝලේ ගේට් එකත් වහනවා. රන්දිමා ඉන්නේ සිකුරිටි අන්කල් ගේට් එක වහනකන්ද කොහෙද කියලා හිතාගෙන හිරුණිත් එහෙම්මම හිටියා.
"රන්දි අක්කේ දැන්වත් යමුකෝ අප්පා... හොඳටම හවස්වෙලා දැන්"
"ඔතන ලොලිපොප් කකා ඉන්නැතුව ඇවිත් ටිකක් ප්‍රැක්ටිස් වෙන්න... ඒක බැරිනම් කෝට් රූල්ස් ටිකවත් මතක් කරකර ඉන්න. මතකනේ ගියපාරත් ඔයා අවුට් වුණා"
"හරි හරි මට ඒවා ඔක්කොම මතකයි... මේ පාර එහෙම වෙන්නේ නැහැ"
හිරුණි එයා හිටපු තැනින් බිමට බැහැලා රන්දිමා ගාවට ආවා.
"ඔයා අර අක්කව බලන්න යන්නේ නෑ?"
"කාවද?"
"අනේ මේ බබා වෙන්න එපා... මුළු ඉස්කෝලෙම දන්නවා ගංගාවි අක්කා ඔලුව පලාගෙන හොස්පිටල් කියලා"
"ඉතිං"
"ඉතිං කියන්නේ!? ඔයා හැමදාම ගියානේ එයාව බලන්න"
"ඉතිං එහෙමයි කියලා අද යන්නම ඕනිද?"
"හපෝ ඔයානම් මහ වසයි අක්කේ... ඒ අක්කා කොහොම ඔයත් එක්ක ඉන්නවද මංදා"
"එයා මාත් එක්ක කොහොමහරි ඉන්නවනේ... ඔයා ඒ ගැන වොරි වෙන්නැතුව හෙට ගේම් එක ගැන වොරි වෙන්න... ඔය නිකන් ඉන්න වෙලේ එහෙමවත් ප්‍රයෝජනවත් දෙයක් වෙනවනේ එතකොට"
"බ්ලා බ්ලා බ්ලා....."
හිරුණි ලොලිපොප් එක කටේ ගහගෙන ගිහින් එයාගෙයි රන්දිමාගෙයි දෙන්නගෙම බෑග් කරට ගත්තේ තව හරියටම විනාඩි දහයකින් සිකුරිටි අන්කල් ගේට් එක වහන නිසා. රන්දිමා ෆේස් ටවල් එකෙන් එයාගේ දාඩිය පිහගෙන බෝලෙ ස්පෝර්ට්ස් රූම් එකට දාලා හිරුණි පස්සෙන් ගියා. කොච්චර ප්‍රැක්ටිස් කළත් එයාටත් රෙස්ට් එකක් ඕනි, මහන්සියි. හෙට ගේම් එක කොහොමහරි දිනන්න රන්දිමායි හිරුණියි හිත හිත යන්න ගියේ සිකුරිටි අන්කල්ටත් අත වනලා.
.......................
හායි 🙂
මොළයක් කියලා එකක් තියෙනවා, ඒක අස්සේ මේ දවස්වල ගොඩක් දේවල් එකමවෙලාවේ ලෝඩ් වෙනවා වැඩියි... මට මේක අප්ඩේට් කරන්න අමතක වුණා, ඒත් එහෙමමමත් නැහැ මට ලියන්න කම්මැලිකමේ හිටියේ
පරිස්සමින් ඉන්න ❤️❤️❤️