"ඉතින් "
════════════════════════════
𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐨𝐟 𝐃𝐀𝐑𝐊𝐍𝐄𝐒𝐒
හත්වන කොටස
" ඉතින්..."
"අපි ආයෙමත් මුණ ගැහුණා..."
තියෝ ඇස් පිය නොහෙළා බලාගෙන හිටියෙ එයා ඉස්සරහ ඉන්න ලූනා එහෙමත් නැත්නම් ලුසිෆර් ගේ අයිතිකාරයා දිහා. ඩෙමෝස්... එයා ගස් අතරින් මෑත් වෙලා එලියට එනකොට තියෝට වෙන දිහාවක් බලන්න සිහියක් තිබ්බේ නෑ. වශී වෙනවා වගේ... අඳුරු කළු කුහර වගේ ඇස් තියෙන, උස කඩවසම් පිරිමි කෙනෙක්... තියෝ මේ කියන ගණයට පිරිමි අය ඕනතරම් දැකලා තියෙනවා... ඒත් ඩෙමෝස් වගේ කවුරුවත් එයාට මුණ ගැහිලා නෑ... ඒ තරම් දිග නොවුණු තද කළු හිසකෙස් කන් පෙතිවල ගෑවී නොගෑවී පහලට වැටෙන දිහා බලාගෙන හිටිය තියෝට දැනුනේ හරි සුපුරුදු හැඟීමක්... කාලාන්තරයකට කලිනුත් එයා මෙහෙමම ඩෙමෝස්ව දැක්කා කියලා දැනෙන හැඟීමක්...
"ඔයා කවුද..."
තියෝට මිමිණුනා. ඒක මහ සද්දෙන් කියවපු දෙයක් නොවුණත් ඩෙමෝස්ට එක ඇහිලා තිබුණා. එයාගෙ ඇහි බැමක් ඉහළට එසවුණේ තියෝගෙ ප්‍රශ්නේ මොකක්ද කියලා අහන්න වගේ. මොකද එයාට මතක හැටියට කලින් වතාවෙ ඒ දෙන්නා හම්බුනාම එයාලා එකිනෙකා අඳුන්වා දුන්නා...
"ඔයා දැනටමත් මම කවුද කියලා දන්නවා..."
"ඇයි ඔයාව මට මේ තරම් හුරු පුරුදු.."
ආයෙමත් ප්‍රශ්නයක්...තියෝ හැසිරෙන විදියෙන් එයා ඉන්නේ වෙනමම ලෝකයක කියලා ඩෙමෝස්ට තේරුණා. ඒකයි එයා තියෝගෙ ඇස් ඉස්සරහට එයාගෙ අත ගෙනල්ලා අසුරක් ගැහුවේ.. ඒකත් එක්ක තියෝ පියවි සිහියට ආවත් මෙච්චර වෙලා ඩෙමෝස් දිහා බලාගෙන හිටියා කියන එක මතකෙට ආව ගමන් තියෝ රතු වෙලා ගියා...
"යනවා අහකට .."
තියෝ කෑ ගහනකොට ඩෙමෝස් කට කොනකින් හිනා වුණා. ඩෙමෝස් එයාට වඩා මිටි තියෝගෙ මූණට බර වෙනකොට තියෝ එයාගෙ අත් දෙකෙන්ම ඩෙමෝස්ව තල්ලු කලා. ඒත් එයාට වඩා ශක්තිමත් ඩෙමෝස්ව හොලවන්න වත් තියෝට පුළුවන් උනේ නෑ...
"පූස් පැටියෙක් වගේ...."
"මම පූසෙක් නෙවෙයි..."
තියෝ කිව්වෙ ලූනා දිහාටත් ඔරවලා. හරියට මේ සේරටම වැරදි ලූනා කියන්න වගේ. මෙච්චර වෙලා වෙච්ච සේරම බලාගෙන හිටිය ලූනා ඉක්මනින් එතනින් මාරු වෙලා ගියේ අහක යන ප්‍රශ්නෙකට පැටලෙයි වගේ කියලා හිතුන නිසාද මන්දා...
"ඒත් මට පේන්නේ පූසෙක් වගේ..."
ඩෙමෝස් කිව්වෙ එයාගෙ පපුවේ තියෙන තියෝගෙ අත් දෙක එක අතකින් අල්ලාගෙන. එයාගෙ අනිත් අත තියෝගෙ නිදහසේ නටන කෙහෙරැළි තවත් අවුල් ජාලයක් කලා... තියෝ ආයෙමත් වතාවක් රවලා බලන්න ලූනව හෙව්වත් ලූනා පේන තෙක් මානයක හිටියෙ නෑ... ලූනත් නැති එකේ ඉදලා තේරුමක් නැති නිසා තියෝ යන්න හැරුණත් ඩෙමෝස් එයාගෙ අතකින් අල්ලගත්තා.
"තියෝ..."
ආර්සන් මාලිගය..
ඇරල්ඩීන්
"උඹලට දෙයක් කිව්වම තේරෙන්නේ නැද්ද..."
සේවිකාවක් අරගෙන ඇවිත් තිබුණු ආභරණ පොලොවේ ගහන ගමන් තාලියා කෑ ගැහුවා. වටිනාකම කියලා නිම කරන්න බැරි සුදු පාට මුතු ඇට හැම තැනකම විසිරිලා යද්දි ඒ සේවිකාව බිමටම ඇස් අලවගෙන හිටියෙ ඔළුව ඉස්සුවොත් හිස ගසා දායි කියන බයට... තාලියා... ඇරල්ඩීන් වල කුමාරිකාව... ආර්සන් රජතුමාගේ දියණිය වුන තාලියා කියන්නෙ ආර්සන්ගෙත් ඔහුගේ බිරිද වුණු හීරාගෙත් කුරිරුකම් වල සම්පූර්ණ එකතුවක්.
තාලියා
දැනුත් තාලියා කෑ ගහන්න තිබ්බ හේතුව එයාගෙ හිසේ පලඳින ඇමතිස්ට් පාශානෙන් හදපු පළඳනාව වෙනුවට එයාට මුතු ඇට වලින් හදපු පලඳනාවක් ගෙනත් තිබුණු නිසා... ඒ සේරටමත් වඩා තාලියා එයාට වඩා ලස්සන රූපයක් තිබුණු එයාගෙ සේවිකාවට ඊර්ෂ්‍යා කලා. ඒ සේවිකාවට දඬුවම් දෙන්න අවස්ථාවක් හොය හොය හිටිය තාලියට ලැබුණේ හිතුවත් වඩා හොඳ අවස්ථාවක්.
"සෙබළුනි... මැයව අරගෙන ගිහිං කස පහර සියයක් ලබාදෙනු...."
තාලියා කෑ ගහනකොට සේවිකාව ඇස් තද කරලා පියා ගත්තා. කස පාර සීයක්... ශක්තිමත් රණ ශූරයෙක්ට උනත් කස පහර සියයක් දරා ගන්න අමාරු එකේ සියුමැලි සේවිකාවක් වුණ එයා කොහොම ඒක දරා ගන්නද... අද එයාගෙ අවසාන දවස වගේ.. එයාව බේරගන්න පුළුවන් කෙනෙක් මෙහේ නෑ. තාලියට පිටින් ආර්සන්වත් යන්නෙ නෑ... ඒ තරමටම ආර්සන් තාලියට ආදරේ කරනවා... සෙබළු ඇවිත් එයාව ඇදගෙන යනකොට එයා දැක්කෙ තාලියගෙ මූණේ කුරිරු හිනාවක් ඇඳිලා තියෙනවා... ඕනි දෙයක් වෙන්න කියලා ඇදගෙන යන අතරෙදි සේවිකාව කෑ ගැහුවා..
"මම උඹට සාප කරනවා තාලියා... මම විඳවන්නෙ කොයි තරම් ද ඊට වඩා සිය ගුණයකින් උඹ විඳවයි... පාතාල ලෝකයට අධිපති හේඩ්ස් දෙවියන්ගෙ නාමෙන් මම දිවුරනවා උඹට උරුම සිංහාසනේ වෙන එකෙක් වාඩි වෙන්න ලැබෙන්න කියලා... උඹට කවදමහරි වහලියකටත් වඩා දරුණු දඬුවමක් ලැබෙන්නම ඕන... "
ඒත් එක්කම අකුණක් පුපුරලා ගියේ තාලියාවත් බය කරලා... කතාවක් තියෙනවා හේඩ්ස්ගෙ නමින් කෙනෙක් දිවුරුවොත් හේඩ්ස් ඒ දිවුරුම බාර ගත්තොත් මේ විදියට අකුණු ගහනවා කියලා... අවේලාවේ ඉර එලියත් වැටිලා තියෙන වෙලාවෙ අකුණ පුපුරපු එක හරි අසාමාන්‍යයි. මාලිගාව ඉස්සරහ තිබුණු ගහක් ඒ අකුණු පාරට ගිනි ගනිද්දී තාලියා ඒ දිහා බලාගෙන හිටියේ ඇස් දෙක පුදුමෙන් වගේ ම බයෙන් පිරිලා ගිහින් තියෙද්දී... සේවිකාවො සෙබළු විතරක් නෙවෙයි පාරේ යන මිනිස්සු පවා අහස දිහා බලාගෙන එකිනෙකා එක්ක රහස් මතුරනකොට තාලියා මේසෙ උඩ තිබුණු මිදි යුෂ වීදුරුව පොලොවේ ගැහුවා...
"බැල්ලි... මට සාප කරන්න තරම් උඹට එච්චර හයියක්... මම තාලියා... කවදහරි මේ ලෝකෙ බලවත්ම රැජින වෙන්නෙ මම... උඹේ ඔය මහලොකු සාපෙට මම කේරන් නයිට්ශේඩ්ගෙ බිරිඳ වෙලා අමරණීය වෙන එක නවත්තන්න පුළුවන් කියලද උඹ හිතන්නේ... "
"මේකිව අරගෙන ගිහිං මාලිගාව ඉස්සරහ තියාගෙන කස පහර දීපන්..."
තාලියා හිටියෙ බටහිර කුළුණෙ. පහළට බහින්න තියෙන සර්පිලාකාර පඩිපෙළ දිගේ වේගෙන් ආව තාලියාගෙ පස්සෙන් සේවිකාවෝ දුවගෙන ආවා. ඒ පස්සෙන් සෙබළු අර සේවිකාවව ඇඳගෙන ආවා. මාලිගාව ඉස්සරහ තියෙන වේදිකාව පේන සඳළු තලයට ආව තාලියා වේදිකාව උඩට අරගෙන සේවිකාව දිහා බලාගෙන හිටියා. වටේ හිටිය හැම කෙනෙක්ම එතනට එකතු වෙද්දි නිරුවත් කරලා හිටිය සේවිකාවගේ ඇඟට පලවෙනි කස පහර වැදුණා...
"මම උඹට සාප කරනවා තාලියා... හේඩ්ස් දෙවියන්ගෙ නාමෙන් මම උඹට සාප කරනවා..."
To be continued
තාලියා කේරන්ට බන්දමුද...
හරි හරි... මේක Greek Mythology එක්ක යන එකක් තමා...
කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න.
පොඩි ඉල්ලීමක් තියෙනවා... මම මෙහෙම කියන්නේ නෑ.. ඒත් නොකියත් බෑ.. සාමාන්‍යයෙන් හැම ඕතර් කෙනෙක්ම කථාවක් ලියන්නේ ඔයාලගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන්. ගොඩක් මාත් එක්ක කතා කරන ඕතර්ස්ලා කියන්නෙත් කට්ටිය කතාව කියවනවලු. ඒත් වෝට් කරන්නෙ කමෙන්ට් කරන්නෙ එක්කෙනා දෙන්නයි කියලා. ඇත්තටම මෙහෙම ලියන එකෙන් අපිට කිසි දෙයක් හම්බෙන්නෙ නෑනේ. සරලවම අපි අපේ ඩේටා කපාගෙන පොටෝස් හොයලා කතාවක් පබ්ලිශ් කරලා බලාපොරොත්තු වෙන එකම ඔයාලට සතුටක් ගෙන එකනෙ. ඉතිං මම හිතනවා එහෙම එකේ කතාව ගැන වචනයක් දෙකක් කියන්න තරම් බැරිකමක් කාටවත් නෑ කියලා. මේක කියවන්න යන්නෙ විනාඩි දෙකක් වෙන්න පුළුවන්. ඒත් ලියන කෙනෙක්ට පැය ගාණක් යනවා. ලස්සනයි කියනවට වඩා ඕතර් කෙනෙක්ගෙ මහන්සිය වෙනුවෙන් පුංචි අගය කිරීමක් දෙන්න.
ආසාවට හැදුවෙ 🙃