“නුරාද්…, තමුසේ පරක්කු මොකද ආහ්?” හේමමාලිනි දුරකතන ඇමතුම ගෙන කෝපයෙන් ඇමතුවාය.
“පැය බාගයක්? මොනාද ඕයි කියවන්නේ.. මම හිතුවේ තමුසේ මෙච්චල් කල් මං පස්සේ ආව එකේ මැරි කරමුයි කිව්වාම මීට වඩා උවමනාවෙන් වැඩ කරයි කියලා. හැබැයි තමුසේ ඉක්මනට ආවේ නැත්නම් මම මෙතන පාරේ ඉන්න මනුස්සයෙක්ව හරි මැරි කරන එක මැරි කරනවා. අන්න ඒක මතක තියාගන්නවා…” හේමමාලිනිගේ හඬ බොහෝම අඩු ස්වරයෙන් ඇසුනත්, ඇයට දැනුනු කෝපය නම් එතරම් අඩු ස්වරයෙන් යුතු නොවීය.
හේමමාලිනි සිටියේ රෙජිස්ටාර් කාර්‍යාලය ඉදිරිපිටයි. අවැසි වූයේ අද දින කෙසේ හෝ තම විවාහය ලියාපදිංචි කරලීමටයි.
“කොහොමහරි ඉක්මනට එ...” ඇයට තවත් කතා කරගත නොහැකි වූයේ, එක්වරම ඇයගේ ජංගම දුරකතනය එක්වරම යමෙක් උදුරාගත් නිසාවෙනි.
“තමුසේ මොකෙක් වුණත්, තමුසෙගේ පැමිණීම අනවශ්‍යයි! එයාව මැරි කරන්න කෙනෙක් ඉන්නවා!” එක්වරම එලෙස පැවසූ අමුත්තා හේමමාලිනිගේ දුරකතනය ඇයගේ අතින් තැබුවේ කෝපයෙනි.
“එච්චර මම එදා කියලත් ඔයා මැරි කරන්නමයි හදන්නේ නේද හේමා!?” අහස් විමසුවේ කෝපයෙන් පුපුරමිනි.
“ඔයාට වැඩක් නෑනේ.. මම මගේ පළිය අරගන්න එක අරගන්නවා!! දෙව්දාර් මාව රවට්ටලා හිතුවැති මම අඬලා දොඬලා ඉන්න ගෑණියෙක් වෙයි කියලා. ඒත් මම එහෙම නෑ.. මම එයාට පෙන්නනවා මගේ සතුට තියෙන්නේ එයා ගාව නෙවෙයි කියලා… මම ඉන්ඩිපෙන්ඩන්ට්! එයාට බෑ මාව රවට්ටලා, මාව අඬවන්න!” දින ගණනාවක් ගත ව තිබුණත් ඒ දෙනෙත්වල වූයේ එකම එක වෛරී හැඟීමක් ම පමණක් විය. ඉණටත් අත් දෙකක් තබාගත් අහස් සුසුමක් හෙළූවේ ඇයට නම් යමක් තේරුම්කරවීම ඉතා අපහසු බව වටහාගෙනයි.
“ඔයා ඇයි මෙතන?” එක්වරම හේමමාලිනි විමසුවේ වැදගත් ප්‍රශ්නයකි.
“මම.. ඩිලිවරි එකක් කරන්න ආවා.. අපි කේක්ස් එහෙම ඩිලිවර් කරනවා. ඒ ගමන් මම දැක්කා ඔයා පිඹගෙන යනවා වාහනේ අරගෙන. එදා වගේ මොනා කරගනියි ද කියලා දන්නේ නැති නිසා මම ඔයාව ෆලෝ කළේ..” අහස් පැවසුවේ ඇයගේ දෙනෙත් දෙසම බලාගෙන වුවත් ඈ දෙනෙත් කරකැවුවේ එය ගණනකට නොගෙනය.
“තව පැය බාගෙකින් මම මැරි කරනවා! ඒ නිසා ඔයා කලබල වෙන්න එපා.. මිස්‍ටර්… ආ..හ් වටෙවර්…” ඇය පැවසුවේ උඩගු ස්වරයෙනි. අහස් හට ඇයගේ මේ උඩගු ස්වරය රිස්සුවේ නැති මුත්, ඈ පිළිබඳව කොහෙන්දෝ මන්දා වූ වගකීමකුයි ඔහුට දැනුනේ.
“මැරි කරන්න කියලා ආවට දැන් සාක්ෂි කෝ?”
“ඉන්නවා.. අර අතන ඉන්නේ.. ඔයා ඒ ගැන වදවෙන්න එපා” නැවත වතාවක් හේමමාලිනි උඩගු ස්වරයෙන් පවසද්දී අහස් තම පිටි අත්ලෙන් මුව පිසලූවේ කෝපයෙනි.
“මේ අහනවා හේමා.. පළිගන්න කියලා දැන් ඔය කාවද මැරි කරන්න හදන්නේ?” අහස් මෙවර විමසුවේ බැරිම තැනය.
“මනුස්සයෙක්.. මං පස්සෙන් ආවා කාලයක්” හේමමාලිනි මිමිණුවේ වරදක් කර හසුවූ පුද්ගලයෙකු ලෙසිනි.
“තව.. තව මොනාද දන්නේ මිනිහා ගැන?” අහස් විමසුවේ මෙවර නම් අතිශය කෝපයෙනි. කෙතරම් ඉවසීම ප්‍රගුණ කරන ලද පුද්ගලයෙකු වුවත්, සමහරවිටෙක ඔහුට එන කෝපය කිසිවෙකුටවත් සම කළ නොහැක.
හේමමාලිනි මුව විවර කළේ තමා දන්නා ස්වල්ප තොරතුරු අහස් ඉදිරියේ දිගහැරීමට වුවත් ඊට ඉඩක් නොවීය.
“තමුසෙට දැන් මොකක්ද කරන්න ඕනේ? මැරි කරන්න නේ ඕනේ? එනවා එහෙනම්. මං මැරි කරන්නම්!!” එක්වරම හේමමාලිනිගේ අතින් ඇදගත් අහස් ඇයව රෙජිස්ටාර් කාර්යාලය තුළට ඇදගෙන ගියේ කෝපයෙන් රතු කරගත් වතිනි.
‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*
"වික්‍රම ආරච්චිලාගේ රක්ෂිත් ආලෝක අහස් ආරියවංශ වන මම, මෙහි සිටින හේමතිලක මුදියන්සේලාගේ හේමමාලිනි ඉටිගහමුල යන අයව නීත්‍යානුකූලව විවාහ කරගත් මාගේ භාර්‍යාව ලෙස භාරගන්නා බවට සාක්ෂි දරන මෙන් මෙහි සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි”
"හේමතිලක මුදියන්සේලාගේ හේමමාලිනි ඉටිගහමුල වන මම, මෙහි සිටින වික්‍රම ආරච්චිලාගේ රක්ෂිත් ආලෝක අහස් ආරියවංශ යන අයව නීත්‍යානුකූලව විවාහ කරගත් මාගේ ස්වාමි පුරුෂයා ලෙස භාරගන්නා බවට සාක්ෂි දරන මෙන් මෙහි සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි”
සියල්ල අවසන් වූ පසුව තරුණයා හෙළූවේ විසල් සුසුමකි. තමන් මෙවැන්නක් සිදුකළා යැ යි ඔහුට විශ්වාස කළ නොහැකිවිය.
“මිස්ටර් රක්ෂිත්…” හේමමාලිනි ඔහුව ඇමතුවේ ඔවුන් දෙදෙනාම රෙජිස්ටාර් කාර්‍යාලයෙන් පිටතට පැමිණී පසුවයි. ඇයට පිටුපා සිටී රක්ෂිත් ඈ දෙසට හැරුණේ දෙනෙත් හීනි කරගෙනය. “මොකද?” ඔහුගෙ හඬෙහි ද පැවතියේ කෝපයකි.
“තෑන්ක්ස්.. ඒත්.., ඔයා බයවෙන්න එපා. අපි මැරි කළාට මම ඔයාගේ ලයිෆ් එකට අනවශ්‍ය විදිහට ඉන්වෝල්ව් වෙන්නේ නෑ. ඔයා මගේ හස්බන්ඩ් විදිහට පෙනී හිටියාම ඇති. අනික.., අපි මැරි කළා කියලා දෙව්දාර් ඇන්ඩ් දෙව්දාරා විතරක් දැනගත්තාම ඇති. කොටින්ම මම මගේ අපාට්මන්ට් එකේ ඉන්නම්. ඔයා ඔයාගේ ගෙදර ඉන්න” ඒ උඩගු කියවිල්ලේ නැවතීමක් නොමැත. ඈ නම් සැබෑවටම නාහෙට අහන්නැති තරුණියකි.
“මේ… හේමා! කටවහගන්නවා!” එපමණක් පැවසූ ඔහු නැවත වතාවක් සුසුමක් හෙළා තම ළය සැහැල්ලු කරගනිමින් අනෙක්පස හැරුණේය.
‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*
කෙසේනමුත් හේමමාලිනිගේ වදන්වලට අනුවම දෙපොලක ජීවත් වූ ඔවුන් දෙදෙනා, අද දිනයේ එකට පැමිණියේම දෙව්දාර් සහ දෙව්දාරා මුණගැසීමටය.
“ඔයාගේ අහස් නෙවෙයි දෙව්දාරා මේ ඉන්නේ. මගේ හස්බන්ඩ් රක්ෂිත්!”
හේමමාලිනිගේ ඒ වදන්වලින් අනෙක් තිදෙනාම තිගැස්සී ගියෝය. රක්ෂිත් පවා තිගැස්සී ගියත් ඔහු ඇයට ඇයගේ රඟපෑම කරගන්නට ඉඩ ලබාදුන්නේය. මොනා නැතත් හේමමාලිනි පැවසූවෙහි ද සත්‍යයක් තිබුණු බව රක්ෂිත් විශ්වාස කළේය. ඒ දෙව්දාරා තමා සහ ඇයගේ මෑණියන් අතර අසරණ කරලීමට ඔහුට අවැසි වූයේ නැත. ඉතිං ඈ තමාට වෛර කළත් කමක් නැත. ඇයගේ දිවියට හොඳක් වනවා නම්. එලෙසයි ඔහු සිතුවේ.
“අහස් ඔයා…” දෙව්දාරාගේ දෙනෙත්වලට කඳුළු පිරීමට ඒ තරම් වේලාවක් ගත නොවීය. ඇයගේ ඒ රුව තදින්ම සීරුවේ රක්ෂිත්ගේ පපුවයි.
“අඬන්න එපා දෙව්… මේක අපි හැමෝගෙම හොඳට” ඔහු මිමිණුවේ වදවන දෙනෙත්වලින් දෙව්දාරා දෙස බලමිනි.
“උඹ…. උඹ කොහොමද යකෝ මගේ කෙල්ලව මැරි කළේ!!” මෙතෙක් වේලාවක් කෝපයෙන් දත් මිටි කමින් සිටී දෙව්දාර් එක්වරම නැගිට රක්ෂිත්ගේ කමිස කොලරයෙන් අල්ලා ඔහුව තමා වෙතට ඇදගත්තේ කෑ ගසාගෙනයි.
“දෙව්…!”
හේමමාලිනි කෑ ගසාගෙන දෙව්දාර්ගේ අතෙහි එල්ලුණත් ඔහු නෙවෙයි එය ගණන් ගත්තේ.
“අනේ දෙව් අයියේ… අහස්ව අතාරින්නකෝ...” දෙව්දාරා ද අනෙක් පසින් ඔහුට ආයාචනා කළේ කඳුළු වගුරවමිනි. ඇයට මේ සිදුවූ දේ දරාගැනීම අපහසු විය.
“උඹ මොනා කියලද මගේ කෙල්ලව රවට්ටගත්තේ යකෝ!!?” එක්වරම රක්ෂිත්ගේ වතට එල්ලවූයේ දෙව්දාර්ගේ තදබල මුෂ්ටි ප්‍රහාරයකි.
“දෙව්! නවත්තනවා ඕක! තමුන්ට කොහෙන් ආව අයිතියක් ද මගේ හස්බන්ඩ් ට අත උස්සන්න?” එක්වරම දෙව්දාර්ව ඉවතට තල්ලු කළ හේමමාලිනි රක්ෂිත්ගේ අතකින් අල්ලාගත්තේ තම අයිතිය තහවුරු කරන්නට මෙනි. දෙව්දාරා ඔවුන්ගේ එකට බැඳී ඇති දෙඅත් දෙස බලා සිටියේ කම්පනයෙන් මෙනි.
“මේ ඉන්නේ මගේ හස්බන්ඩ්! තමුසේ වගේ මාව එයා රැවැට්ටුවේ නැහැ. මම කැමැත්තෙන්මයි එයාව මැරි කළේ. තමුසෙලා දෙන්නා මාව තනියම මීට්වෙන්න ඕනේ කිව්ව හේතුව මම දන්නේ නෑ. හැබැයි, මට එහෙම මගේ හස්බන්ඩ් නැතුව පිට පිරිමියෙක්ව මීට් වෙන්න කිසිම උවමනාවක් නෑ දෙව්දාර්! ඒ නිසා කරුණාකරලා කාරණය කියනවද?” හේමමාලිනි දෙව්දාර් දෙස බලා විමසුවේ අතිශයින්ම පාලනය කරගත් ස්වරයකිනි. දෙව්දාර් මෙන්ම දෙව්දාරා ඔවුන් දෙදෙනා දෙස බලා සිටියේ මේ පවසන කිසිවක් විශ්වාස කළ නොහැකිවයි.
අද දින ඇයට පැමිණෙන්නට කීවේද කෙසේ හෝ ඇයවම විවාහ කරගත යුතු නිසාවෙන් නොවේද? නමුත්… නමුත්…
"ඔයා..ලා ඔයා..ලා මෙහෙම කළේ කොහොමද හේමා? එකපාරක්වත් හිතුණේ නැද්ද මම ඔයා වෙනුවෙන්.." දෙව්දාර් තම පපුවට අතක් තබාගෙන කතා කළේ වෙව්ලමිනි. ඒ කෝපය නිසාද වේදනාව නිසාද යන්න ඔහුවත් දැන උන්නේ නැත.
"හහ්! මෙහෙමයි.. ඔයාට මම ඉද්දීත් මෙන්න මේ කෙල්ල එක්ක එකම බෙඩ් එකක නිදාගන්න පුළුවන් වුණා නේද? අන්න එහෙම තමයි මටත් පුළුවන් වුණේ. And අමතක කරන්න එපා, ඔය දෙන්නා වගේ නෙවෙයි අපි දෙන්නා නීතියෙන් බැඳිලා ඉන්නේ. ඒ නිසා මේකේ කිසිම වැරැද්දක් නෑ!" හේමමාලිනිගේ ස්වරයෙහි වූ ඒ ගර්වය මුසු තද ගතිය දෙව්දාරාගේ මෙන්ම දෙව්දාර්ගේ සිත් කළකිරීමෙන් පුරවන්නට සමත් විය. රක්ෂිත් වුවත් තම නළලතට අතක් තබාගත්තේ හේමමාලිනිගේ වදන් අතිශයින්ම දරුණු අයුරින් දෙව්දාර්ව සහ දෙව්දාරාව රිදවන බව වැටහුණු නිසාවෙනි. සැබැවින්ම ඔහුට නම් බිඳක්වත් අනෙකෙකුව රිදවන්නට වුවමනාවක් තිබුණේම නැත. අවැසි වූයේ දෙව්දාරා සුවෙන් සතුටින් සිටිනවා බලන්නට පමණි.
“හේමා.. මට.. මට තමුන් එක්ක තනියම කතා කරන්න. ජස්ට් ෆයිව් මිනිට්ස්!” දෙව්දාර් එලෙස පැවසුවේ යාන්ත්‍රික ස්වරයෙනි.
“මගේ හස්බන්ඩ්ගෙන් අහලා එන්නම් දෙව්දාර්…” දෙව්දාර් දෙසට රිදවනසුලු සිනාවකින් සංග්‍රහ කළ හේමමාලිනි හැරුණේ රක්ෂිත් දෙසටයි.
“රක්ෂිත්… ඊස් ඉට් ඕකේ?” ඈ දෙනෙත්වලින් දෙව්දාර්ව පෙන්වමින් විමසුවාය. ඇයට අවැසි වූයේ අනෙක් දෙදෙනාව හොඳ හැටි රිදවීමටය. එය නම් පමණටත් වඩා වන බව හේමමාලිනි හට වැටහින. ඒ දෙව්දාරාගේ කඳුළුවලින් සහ දෙව්දාර්ගේ කෝපයෙනි.
“හේමා…” රක්ෂිත් යමක් පවසන්නට හදද්දීම හේමා ඔහු සමඟ සිනාසුනාය.
“හරි විනාඩි පහයි..” එපමණක් පවසා ඈ නැගී සිට දෙව්දාර් හට හිස සැලුවෙන්, ඔහුද නැගිට ඈ පසුපස පැමිණියේ කැෆේහලේ එලිමහන් පෙදෙසටයි. නමුත් එක්වරම හේමමාලිනිගේ අතකින් ඇදී ඈ දෙව්දාර්ගේ පපුවට වැටුනේ, ඇයට සිතන්නටවත් වෙලාවක් නොතබමිනි.
“හේමා… මොනාද මේ කරන දේවල්වල තේරුම ආහ්? තමුසෙට මාව එපාද හේමා? මට විතරයි ද තමුසෙව ඕනේ? මෙච්චරකල් තමුසේ මට කළේ බොරුවක්ද?” රතු වු දෙනෙත්වලින්ම දෙව්දාර් විමසුවේ, ඒ දෙනෙත්වලට කදුළු එකතුවද්දීයි. ඔහුගේ හදවත දැනුනේ බරගතියකි. තමා වසර තුනකටත් වඩා ආලය කළ ඒ තරුණිය අද තමාව ප්‍රතික්ෂේප කර ඇත. තවකෙක් සමඟ අතිනත් ගෙන ඇත. කෙතරම් නපුරෙක් වුවත්, එය දැරීමට තරම් දෙව්දාර්ගේ හදවත ශක්තිමක් නොවීය. එනිසයි ඔහුගේ වේදනාව කෝපයකට පෙරලී ඇත්තේ.
“බොරුවක්ද? හහ්! වාව් දෙව්, ඔයාගේ ඇක්ටින් නම් නියමයි. මම තාමත් රැවටෙනවා!” හේමමාලිනි සිනාසෙමින්ම පැවසුවේ තම හැඬුමන් අපහසුවෙන් පාලනය කරගෙනය. මොහොතකටවත් තමා සිටින වේදනාව ඔහුට පෙන්වීමට ඇයගේ සිතෙහි නම් කැමැත්තක් තිබුණේ නැත. ඉතිං ඒ කැමැත්ත එලෙසින්ම ක්‍රියාත්මක වූයේ දෙව්දාර් හට සැබැවින්ම ඇයගේ සිනාව සමච්චල් සිනාවක් ලෙසින් පමණක් දිස්වද්දී. කෙතරම් කල් ආදරයෙන් බැඳී සිටියත් ඇයගේ මේ හැසිරිම හඳුනාගැනීමට ඔහු අපොහොසත් වූවේය.
“හේමා? මොනාද තමුසේ කියවන්නේ ආහ්? මම කවද්ද තමුසෙව රැවැට්ටුවේ?” ඔහු කෝපයෙන්ම හේමමාලිනිගේ අතක් තද කර අල්ලාගත්තේ එය නම් ඇයට රිදුමක් වද්දීයි. නමුත් තිබුණු මාන්නය නිසාම හේමමාලිනි තම වේදනාව සඟවාගෙන ඔහුට එකට එක කියන්නට විය.
මේ අතර දෙව්දාරා සිටියේ ඉකිගසමින්ම හඬමින් ඇයගේ අහස් නොඑසේනම් හේමමාලිනිගේ ස්වාමිපුරුෂයා රක්ෂිත් දෙස බලානයි.
“ඇයි අහස් අපිට මෙහෙම වුණේ?”
ඈ විමසුවේ තවත් තම නිහඩතාවය රැකගත නොහැකිවයි.
“මේ අහන්න.. දෙව්.. මං දන්නවා ඔයා අම්මා ගැනයි, මං ගැනයි හිතලා අතරමං වෙනවා කියලා. ඉතිං මං ඔයාට තීරණයක් ගන්න එක ලේසි කළා.. හැමදාම සතුටින් ඉන්න මගේ දෙව්” රක්ෂිත් මිමිණුවේ වේදනාවෙන් හදවත පිළිස්සෙද්දී වුවත්, මුව මතට ගත් සිහින් සිනාවකිනි. නමුත් ඒ සැනින් දෙව්දාරා ඉකිගසා හඩන්නට වූයේ ඒ වදන් ඉවසීම ඇයට නම් පහසු නොවුනු නිසාවෙනි. ඒ ගතවූයේ ඔවුන්ගේ ආදර සබදතාවයෙහි සොඳුරුතම සමයයි. නිතරම අනාගතය ගැන සිහින කෙතරම් නම් ඔවුන් ගෙතුවාද මේ කාලය ඇතුළත. ඉතිං තවමත් මෝරා නැති යුවතියට ඒ වෙන්වීම දැරීම අතිශය අපහසු වූවාය.
එක්වරම දෙව්දාරාගෙත් රක්ෂිත්ගේත් අවධානය බිඳුනේ පිටතින් ඇසුනු කෑ ගෑම නිසාවෙනි.
ඒ හඬවල් දෙව්දාර්ගෙත්, හේමමාලිනිගෙත් බව වැටහුණු වහාම ඔවුන් දෙදෙනාම තම අසුන්වලින් නැගී සිටියෝය.
රක්ෂිත් ඉක්මනින්ම කැෆේහලේ එලිමහන් පෙදෙසට දිවගියේ දෙව්දාර් මෙන්ම හේමමාලිනි යන දෙදෙනාම නහරකාරයන් බැව් මේ දින කීපයට ඔහුට වැටහී තිබුණු නිසාවෙනි.
“දෙව්දාර්.., මං හොඳ හිතින් කියන්නේ මාව අතාරිනවා!! අතාරිනවා කිව්වාම!” හේමමාලිනිගේ හඬ මහා හඬින් ඇසුනු නිසාවෙන්ම රක්ෂිතගේ වේගය තවත් වැඩිවිය.
“අතාරිනවා හේමාව!” එක්වරම රක්ෂිත් හේමමාලිනිව අල්ලාගෙන සිටී දෙව්දාර්ගේ අත ගසා දැමුවේ කෝපයෙනි.
“ආයෙත් තමුසේ හේමාව අල්ලන්න කලින් දෙපාරක් හිතනවා! මේ මම තමුසෙට පළමු සහ අවසන් වතාවට කියන්නේ!” දෙව්දාර්ගේ වතට දබරැඟිල්ල දිගු කර, ඒ දෙනෙත් දෙස ඍජුව බලාගෙනම රක්ෂිත් ඔහුට තර්ජනය කළේ ඇයි දැයි ඔහුවත් නොදනී. දෙව්දාර් ඒ තර්ජනය දෙස බලා සිටියේ මොහොතකට ගොළු වී ය. ඉතිං රක්ෂිත් මේ පෙන්වන්නේ ඔහුගේ අයිතිය නොවේද? දෙව්දාර් හට මොහොතකට සිතුනේ එලෙසයි. රක්ෂිත් පසුපසින්ම ආ දෙව්දාරා ද බලා සිටියේ ඒ දසුන දෙසයි. ඈ මේ මාස හතරටම ඇයගේ අහස් මෙතරම් කෝපගන්නවා දැක තිබුණේ නැත. ඔහු ස්වභාවයෙන්ම නිවුණු පුද්ගලයෙකි. ඉතිං මේ සියල්ලම ඇය වෙනුවෙන් ද?
දෙව්දාරාගේ මුවින් නැවත වතාවක් මහා හඬින් ඉකියක් පිටවූයේ ඒ සමඟමයි.
අනෙක් තිදෙනාම ඒ දෙසට හැරී බැලුවේ ඒ සමඟමයි. දෙව්දාරා තවත් එතන නොරැදී කැෆේහල තුළට දිව ගියාය.
“හේමා…, අපි යමු!” එක්වරම හේමමාලිනිගේ අතගත් රක්ෂිත් ඇයව කැඳවාගෙන ගියේ දෙව්දාර් බිඳුනු සිතින් ඔවුන් දෙස බලාසිටිද්දීයි. ඔහු සිතුව කිසිදු සැලසුමක් ඒ අයුරින්ම ක්‍රියාත්මක නොවීය. දෙනෙත්වලට කඳුළක් මෝදු වූයේ ඉබේටමය. ඈතින් ඈතට ඇවිදගෙන යන හේමමාලිනිගේ සහ රක්ෂිත්ගේ රූ දෙස දෙව්දාර් බලා සිටියේ අරමුණකින් තොරවය.
‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*
“Are you okay?”
ඔවුන් හේමමාලිනිගේ රථයට පැමිණි සැනින් රක්ෂිත් විමසුවේ හේමමාලිනිගේ වත බරව තිබුණු නිසාවෙනි.
“මම? මම හොඳින්! මම හොඳටම හොඳින්!” එක්වරම මුළු වතම දීප්තිමත් සිනාවකින් පුරවාගත් හේමමාලිනි හිනැහුණේ රක්ෂිත් දෙසට හැරීයි. නමුත් ඒ සිනාව ව්‍යාජ බව වටහාගැනීමට රක්ෂිත් හට එක් බැල්මක් පමණක් ප්‍රමාණවත් විය.
“හේමා.., ඔයා අහලා නැද්ද කතාවක් වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා…” රක්ෂිත් විමසුවේ සංසුන් හඬින් ඈ දෙස ඇසි කොනින් බලමිනි.
“මේ.. රක්ෂිත්! මට බණ කියන්න එන්න එපා! ඇන්ඩ් මම ගොඩක්ම හොඳින් ඉන්නේ! මගේ හිතට ගොඩක් ලොකු සැනසීමක් දැනෙනවා. අනික මම කවදාටත් වඩා හොඳ සතුටින් ඉන්නවා. ඒ නිසා කටවහගෙන ඉන්න! and I'm sorry මං නිසා ඔයාට දෙව්දාර්ගෙන් ගුටි කන්න වුණ එකට” හේමමාලිනි විමසුවේ තවත් කතා අනවශ්‍ය බව රක්ෂිත් හට ඉඟි කරමිනි. එනිසයි ඔහු ද ඇයට රවා නිහඬ වූයේ.
‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*
“කොහෙද ගියේ දෙන්නත් එක්ක?”
එක්වරම ඇසුනු භාරතගේ හඬ නිවස වෙතට ඇතුළු වූ දෙව්දාර් සහ දෙව්දාරාව තිගස්සන්නට සමත් විය. ඔහු මේ මොහොතේ නිවසේ සිටිනා බව ඔවුන් දෙදෙනාම නොසිතුවෝය.
“අප්පච්චි..”
“ලොකු මාමා..”
දෙදෙනාගේම මුවින් පිටවූයේ සිහින් කෙඳිරියකි.
“දෙව්දූ… නසරි එක ඉවරවෙන්නේ දොළහට. දැන් වෙලාව හතරයි! කොහෙද හිටියේ?” එක්වරම ඔවුන් වෙතට ආ භාරත විමසුවෙන් දෙව්දාරාගේ දෙනෙත් එක්වරම හැරවුණේ දෙව්දාර් වෙතටයි. තවමත් ඒ වත රතුව තිබුණේ ඈ ආපහු එන ගමනේදීත් රථය තුළ හැඬූ නිසාවෙනි.
“ලොකු.. මාමේ.. මම..” දෙව්දාරා සිහින් හඬින් කතාව ආරම්භ කළාය. භාරත හට ඇය කවදත් බිය වූවාය.
“අප්පච්චි.., මම දෙව් ව එලියට එක්කගෙන ගියා..” එක්වරම දෙව්දාරාගේ අතකින් අල්ලාගත් දෙව්දාර් එලෙස පැවසුවේ ඇය හඬා වැටේවි යැයි බියෙනි.
භාරතගේ දෙනෙත් ඔවුන් දෙදෙනා වටාම නිරීක්ෂණ චාරිකාවක යෙදුනු අතර තවත් මොහොතකින් ඔහු හිස සැලුවේය.
“හ්ම්ම්.. අනිද්දට වෙඩින් එකට ෂොපින් කරන්න යන කතාවක් අම්මා කිව්වා පුතා. දෙන්නම නිවාඩුවක් දාන්න. තව වැඩි දවසක් නෑනේ වෙඩින් එකටත්” එලෙස පවසා භාරත පිටව ගියෙන් දෙව්දාරා හට තවත් තම කඳුළු සඟවා සිටිය නොහැකි විය. ඈ ඉකිගසා හඬන්නට ගත්තෙන් දෙව්දාර් ඉක්මනින්ම වටපිට බැලුවේ ඒ හැඬුම් හඬ ඇසෙන මානයෙ අයෙක් සිටීදැයි බලමිනි. ඊළඟ මොහොතේම ඇයගේ අතකින් ඇදගෙන දෙව්දාර් දිව ගියේ උඩු මහලේ වූ විවේක කාමරය වෙතටයි.
“දෙව්… ඕයි ඔය අඬන එක නවත්තනවා..” දෙව්දාර් කෝපයෙන් පහත් හඬින් එලෙස මිමිණුවත් දෙව්දාරාගේ හැඬීමේ වේගය ඉන් වැඩිවූවා මිසක අඩුවක් නම් නොවීය.
“ඇයි එයාලා එහෙම කළේ දෙව් අයියේ… ඇයි එයාලා අපිට එහෙම කළේ?” දෙව්දාරා ඉකි ගසමින් හඬද්දී, දෙව්දාර් හටත් දැනුනේ සංවේදී බවකි. ඉතිං මෙතරම් වේලාවක් තම වේදනාව කෝපයකට පරිවර්තනය කරමින් සිටියත්, හේමමාලිනි රක්ෂිත්ගේ අත අල්ලාගෙන ඔහුව හඳුන්වාදුන් ආකාරය මතක්වද්දී ඒ හදවත නැවත නැවත පිළිස්සී ගියේය.
“අපි එයාලාට ආදරේ කරපු තරම් එයාලා අපිට ආදරේ නැද්ද දෙව් අයියේ?”
දෙව්දාරාගේ බිඳී ගිය හඬ එලෙස ඇසෙද්දී දෙව්දාර් ඈ වෙතට ළංවූයේය.
“ඇයි අයියේ… ඇයි දෙව් අයීයේ එයාලා එහෙම කළේ අපිට…?” එක්වරම දෙව්දාර්ගේ පපුවට හිස තියාගත් දෙව්දාරා හඬන්නට වූයේ තවත් දැනෙන වේදනාව දරාගත නොහැකිවය. දැනෙන වේදනාව කඳුළු කර ඔහුගේ පපුව මත දියකර හරින්නට ඇයට අවැසි විය. නමුත් හඬන්නටවත් නොහැකිව දෙව්දාර් තම හැඟීම් ගල් කරගෙනම දෙව්දාරා හිස පිරිමැද්දේ, තම දෙනෙත් අභියස නැවත නැවත හේමමාලිනියව මැවී පෙනෙද්දීය.
ඉතිං වසර තුනක ආදර කතාවේ කෙතරම් නම් ඔවුන් දෙදෙනා ළං වූවා ද?
කෙතරම් නම් අනුරාගී හීනයක් විඳගත්තා ද?
එලෙස කෙසේද ඇයව අමතක කරන්නේ?
කෙසේද විශ්වාස කරන්නේ ඇය දැන් වෙනත් අයෙකුට අයිති වස්තුවක් බව?
දෙනෙත් තෙමමින් හීනි කදුළු පටලයක් ඒ දෙනෙත්වල ඉපදුනත්, සුසුමක් හෙළූ දෙව්දාර්, දෙව්දාරාව තදින්ම තම පපුවට තුරුළු කරගත්තේය.
මතුවට . . .
❤___ මෙතරම් කල් නොතේරුණු අයට Cover එකේ කතාව දැන්වත් තේරෙනවද බලන්න. මං ඔයාලාට කිව්වා මේක සරල ආදර කතාවක් කියලා. සඳට පෙම් බඳින්නම් වල වගේ කවරයේ කතාව මම කියන්න ඕනේ නෑ. ඔයාලාටම තේරෙනවා. අනික... මේකේ මේ couples දෙකම ප්‍රධානයි ළමයි...___❤
Copyright © 2024 by Apsara Kumarasinghe
['ආදරේ ද?' කතාවේ සියලුම අයිතිය කර්තෘ වන අප්සරා කුමාරසිංහ, එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම සපුරා තහනම්!]