කොණ්ඩ කුරුල්ලා පුදුම අහංකාරයි, අනිත් කොල්ලො ටික නැවතිලා මාමා එක්ක කතා කරද්දි මේකා යන්තම් මාමා එක්ක හිනා වෙලා මටත් ඔරවලා ඉස්සර වෙලා යන්න ගියා.කොණ්ඩෙ උඩට කරලා බැඳගෙන බැට් එකත් කරේ තියාගෙන දහයකට ගහන්න වගේ මේකා තනියම යන්න යද්දි මම කරේ ඒකා යන දිහා බලාගෙන හිටිය එක. හොඳ වෙලාවට අද මේකා දඬු මොණර පිටේ නොයා පයින් යන්නෙ.ටිකකින් කතාව නවත්තලා කට්ටිය දෙපැත්තට විසිරුණා.
චූටි මාමා අපි එක්ක ආවේ පොඩි කඩයක් ළඟට.
"මද්දු අයියෙ.... මෙන්න අපේ අක්කගෙ කොල්ලො දෙන්නව එක්ක ආවා මං"
චූටි මාමා කියද්දි කඩේ ඇතුලේ හිටපු කෙනෙක් එළියට ආවා.
"මට ඒ ගැන හාන්කවිසියක් වත් මතක් උනේ නෑනෙ චුට්ටන්, කොල්ලො දෙන්න කවද්ද ඇවිත් තියෙන්නේ"
"දැන් දවස් තුන හතරක් වගේ බං අය්යේ"
"හා හා ඔහොම්ම යමුකො එහෙනම් ගෙට"
මද්දු මාමා එහෙම කියාගෙන ගියේ කඩේ පිටි පස්සෙ තිබ්බ ගෙට. චූටි මාමගෙ ගෙදරට වඩා නම් හොඳට හදපු ගෙයක්.
"කුසුමේ.... පොඩ්ඩක් මෙහෙට ආවා නම්"
මද්දු මාමා එයාගෙ නැන්දට කතා කරද්දී එයත් ගේ ඇතුලේ ඉඳන් සාලෙට ආවා. ඒ එක්කම දොර රෙද්ද පිටි පස්සෙ ඉඳන් එබිකම් කරන් හිටපු කෙල්ලෝ දෙන්නෙක් මං බැලුවා විතරයි ගෙට පැන ගත්ත. අනේ මුන්ගේ මළ විකාර.අක්කලද , නංගිලාද දන්නෙත් නෑ. කවුරු උනත් මට මොකද, අර චූටි බටු ඇටේට විතරයි මං නම් ආදරේ.
"ආ චුට්ටන්,.....මේ කව්ද"
"මේ අපේ නංගිගෙ කොල්ලො දෙන්න කුසුමෙ"
"අනේ මේ ඒ දෙන්නද, හරි සීදේවි කොල්ලො දෙන්න ඒයි"
නැන්දා අපේ ළඟට ඇවිත් ඔළුව අත ගාලා කතා කරා. මාමලා දෙන්නයි නැන්දයි අපි එක්ක අම්ම ගැන එහෙම විස්තර කතා කර කර හිටියා, මාමල දැනගෙන හිටියේ නැහැලු අම්ම ඉන්නෙ කොහෙද කියලා, සීයල දැනන් හිටියත් එයාලා කාටවත් කියල නෑ, අම්මගෙ මරණෙ ගැනත් මාමලට කියල තියෙන්නේ අවසන් කටයුතු වලට ගිහින් ආවට පස්සෙලු. ඒ උනාට ලොකු මාමයි, ලොකු නැන්දයි ඒ ගැන දැනන් ඉදලා. ඒත් මට හිතුනේ උවමනාවක් තිබ්බ නම් එයාලට අම්මා ඉන්න තැන හොයා ගන්න තිබ්බා කියලා.
VOCÊ ESTÁ LENDO
දඬු මොණරු
Não Ficção"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්ර, නේත්ර... මගේ නම නේත්ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට කියල උඹේ ඔය ලස්සන මූණත් තහඩුව තලා ගන්නෙ නැතුව ඉඳපන්"