අවසාන කොටස

99 10 0
                                    

අවසාන කොටස

නිරංගා මැඩම්ගේ වියරු සිනහව මගේ දෑස් අගින් බොදව යමින් තිබුණේය. ඒ සියල්ලේ අවසානය යැයි මට සිතුණි. දෑස් පියවී ගියාට මගේ සිහිය හිමිහිට විකල් වෙමින් තිබුණාට මට අවට පරිසරයෙන් නැඟී පැමිණි ශබ්ද සිහිනයෙන් මෙන් ඇසෙන්නට විය. පොලිස් ජීප් රථයක සයිරන් හඬ ඈතින් ඇසුණ වෙඩි හඬ.. පා පියවර ගැටෙන හඬ කෑ ගැසීම්.. සදෙව්..! අවසානයේ ඔහු පැමිණියේද ? මට දෑස් හැර බලන්නට උවමනා විය. අවසාන සුසුම්පොද වා තලයට මුසු වන්නට කලියෙන් මට ඔහුව එකම එක වරක්වත් දැක ගන්නට උවමනා විය. ඔහු මට සමාව නොදෙනු ඇති. ඔහු එපා යැයි කී සියල්ල මෝඩියක සේ කළ මට ඔහු කිසිදා සමාව නොදෙනු ඇති. එහෙත් මියදෙන්නට කලින් මම ඒ දුරකතනය සඟවා ඇති තැන ඔහුට කිව යුතුය.

ඊළගට මගේ සවනත අසලම මහ හඬින් පුපුරා ගිය වෙඩි හඬ.. ඒ අති ප්‍රභල ශබ්දයෙන් මගේ දෑස් ඇරුණේය. විසල්ව රතුව ගිය  නිරංගා මැඩම්ගේ දෑස් මම මට ඉහළින් දුටිමි. මගේ ගෙලට තදව ගිය ඇගේ සුරත  රැදි   කිනිස්සේ පීඩනය එක වරම නැතිව ගියේය.   ඊළගට ළග ළගම තවත් වෙඩි හඩවල් කිහිපයක්ම නැගී ආවේය. කපා හෙළූ කදක් සේ නිරංගා මැඩම්  මා මතම වැටෙනවා මට අවසානයට මතක තිබූ එකම කාරණය වූයේය.

මා සිතුවේම මම මියගියා කියාමය. එහෙත් මැරෙන්නට තරම් තදට මගේ ගෙල කපා දමන්නට නිරංගා මැඩම් සමත්වන්නට කලියෙන් ගයන්ත අයියා ඇතුළු විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් අපේ නිවසට පැමිණීමට සමත්ව තිබුණේය. නිරංගා කොතලාවල ගයන්ත අයියාගේ වෙඩි පහරින් මගේ ශරීරය මතම මියදී වැටී තිබුණි. සේනක කොතලාවල විසින් මෙහෙයවන ලද  මැරයින්ගේ ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන සදෙව් එතනට එද්දීත්  ගයන්ත අයියා විසින් මා රෝහල් ගතකර තිබුණි. මම සතියකුත් දින කිහිපයක් රෝහල් ගතව උන්නෙමි. දිවි ගලවා ගත්තාට වඩා මියදුණා නම් හොද යැයි සිතුණේ සදෙව්ගේ හා තාත්තාගේ රැවිලි ගෙරවිලි දකිද්දීය. නොනවත්වා ඇසෙන දෝෂාරෝපණ වලින් මගේ කන් පිරී තිබුණි.

"අර අහිංසක ගෑනිගෙ ජීවිතය නිස්කාරනේ නැතිවුණා.. මේ හැම දේම ඔයාගෙ හිතුවක්කාර කම නිසා.. " තාත්තා විටක මට දොස් තැබුවේය. කළු මැණිකා නැන්දා සිහි වෙද්දී හදවත මත පිහි පහරක් ඇනී යනවා බදු වේදනාවක් දැනුණේය. සමහර විට මම දෙවුලිගෙන් නොදන්නා අංකයෙන් ආ ඇමතුමට පිළිතුරු නොදුන්නා නම් මේ සා විපත්තියක් නොවන්නට තිබුණි. ඒ කොහොම වීද දෙව්ලිගේ මරණයට පවා මා වග කියන්නට උවමනා යැයි සිතෙන තරමට මම සිතින් වැටී සිටියෙමි. ඇයට ඒ අපරාධය සිදු වූයේ මට උදව් කරන්නට ගිය නිසාය. මගේ මිතුරිය වූ නිසාය.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 26, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

දාමWhere stories live. Discover now