chapter 58

41 15 8
                                    

දෙවගැතිවරයා ආරාමයට ඇතුළුව දොර වසා දැම්මේය. ඔහුට දැනුණේ දැඩි වෙහෙසකර බවකි. තමාගේ මුළු ගතම තළා දමා ඇතුවාක් මෙන් ඔහුට දැනිණි. ඇඳුම් මාරු කිරීමටත් පෙර අසල වු හාන්සි පුටුවක ඔහු හාන්සි වූයේ තෙහෙට්ටුව ඉවසන්නටම බැරි අවස්ථාවකට පැමිණ ඇතිවාක් මෙනි.

" පුදුම මහන්සියක්නෙ. මොකද මේ කවදාවත් නැතුව.. ටිකක් හාන්සි වෙලා හිටියම හරියයි ''

තමාටම කියා ගත් ඔහු හාන්සි වී දෑස පියා ගත්තේය. තමාට කොපමණ වේලා නින්ද ගොස් තිබුණේදැයි එක්වරම නිශ්චය කර ගන්නට ඔහු අපොහොසත් විය. තෙහෙට්ටුව පහ කර ගැනීම අරමුණු කොට ගෙන හාන්සි වුව ද දැන් එය දෙගුණ තෙගුණ වී ඇති බවක් දේවගැතිවරයාට දැනෙයි.

ඉතා අසීරුවෙන් කෙළින් වූ ඔහු, හෝරා යතුර දෙස බැලුවේය. ඔරලෝසු කටු දෙකම එක මත එක හරි කෙළින් පිහිටා තිබිණි.

'' ඕ... ගෝඩ්... රැ දොළහත් වෙලා....මොනව ? මට එච්චර වෙලා නින්ද ගියද? ඇයි මට මෙච්චර අමාරු ....? "

ඉතා අපහසුවෙන් නැගී සිටි දේව ගැතිවරයා සෙමෙන් සෙමෙන් ඇතුළු ගෘහයට පැමින එහි වූ කබඩයක් විවර කොට ප්‍රථමාධාර පෙට්ටියක් ඉවතට ගත්තේය. මෙහි සේවය කරන සේවකයා මේ දින කිහිපයේම නිවාඩු ගොස් තිබිණි. ප්‍රථමාධාර පෙට්ටිය විවර කළ දේවගැතිවරයා එහි වූ උණකටුව ඉවතට ගත්තේය. වෙවුලන අතින් ඔහු එය තම මුව තුළට දමා දිව යට තබා ගත්තේය. විනාඩියක් ගත වීමට පැයක් පමණ ගියේ යැයි ඔහුට සිතින. උණ කටුව පිටතට ගත් ඔහු අසල වූ විදුලි පහනට ළං කර බැලුවේය. උණ කටුවේ රසදිය මට්ටම 102 ලෙස දැක්විණි.

" මයි ගෝඩ්.....මට උණ... හොඳටම උණ.. ඇයි මේ...''

    ප්‍රතිකාරයන් ගැනීම සඳහා පසු දා වනතෙක් සිටිය යුතු වෙයි. ඇඟ පතේ වේදනාව සහ උණ ගතිය පහව යාම සඳහා තාවකාලික ප්‍රතිකාරයක් කළහොත් මැනවයි ඔහුට සිතිණි.

ඉතා සෙමෙන් බෙහෙත් හා ප්‍රථමාධාර අඩංගු පෙට්ටිය විවර කළ දේවගැති ටේහ්‍යුන් , ග්‍රෝස් රෙදි රෝලක්, ඕඩි කොලොන් බෝතලයක් හා ඇස්ප්‍රින් පෙති දෙකක් එතුලින් එළියට ගත්තේය. තම නිදන කාමරය වෙත ගිය ඔහු ඒවා සීරුවෙන් ඇඳ පසෙකින් වූ කුඩා ටීපෝව මත තැබීය.

අනතුරුව සිය නාන කාමරය වෙත ගිය ඔහු මඳ උණුසුම් වතුරෙන් යාන්තමට ඇඟ පත තෙමා පිසදා ගත්තේය. එවිට ඔහුට මඳ සනීපයක් දැනිණි. තම රාත්‍රී ඇඳුම ඇඟලා ගත් දේවගැති ටේහ්‍යුන් ඇඳේ වාඩි වී ඇස්ප්‍රින් පෙති දෙක ගිල දැම්මේය. ගෝස් රෙදි රෝලෙන් අඩි එකහමාරක පමණ කෑල්ලක් ඉරාගත් ඔහු එය හතරට පහට නවාගෙන තට්ටුවක් සාදා ඕඩි කොලොන් වලින් පොඟවා සිය නළල මත තබා හාන්සි වූවේය. එනමුදු ගතේ වේදනාව පහව නොගිය සෙයකි. නළල මත එලූ ඔඩිකොලොත් පෙඟවූ රෙදි කැබැල්ලෙන් මඳ සිසිලසක් හිසට දැනිණි.

එහෙත්බ්කුමක් දෝ වේදනාවක් ගත පාරයි. දේවගැතිවරයාට ඉබේම තම අත්ල දෙස බැලීමට සිත් විය. සිය දකුණු අත්ල දෙස බැලූ ඔහුගේ දෑස් විශාල විය. ඉන් පසු තම වම් අත්ල දෙස ද යාන්ත්‍රිකව මෙන් බැල්මක් හෙළූ දේවගැතිවරයාගේ මුවින් නිකුත් වූයේ භීතිය මුසු කෙඳිරිලි හඬකි.

" ජීසස්... දෙයියනේ... මේ මොනවද?"

දේවගැතිවරයාගේ දෙඅත්ලේම රතු පැහැ බිබිළි මතුවෙමින් තිබිණි.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Wo Geschichten leben. Entdecke jetzt